පෝය දිනයන්හි වැදගත් කම

Posted by
|

දුරුතුපුර පසළොස්වක පොහොය දිනය

තිලෝගුරු බුදුරජාණන්වහන්සේගේ ප්‍රථම ලංකාගමන එනම් මහියංගනයට වැඩම කිරීම දුරුතු පුන් පොහෝදා සිදු විය. මෙහිදී සුමන සමන් දෙවියන්හට කේශ ධාතුන් වහන්සේලා පිළිගැන්වීම සිදු කරන ලදී. ලොව්තුර සම්මා සම්බුදු පදවියෙන් අභිසෙස් ලබා නව මසක් ඇවෑමෙන් එළඹුණු පින්බර දුරුතු පුන් පොහෝදා උරුවෙල් දනව් පියසෙහි වාසය කළ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන තූන්බැ ජටිලයන් ප්‍රධාන දහසක්වුවෝ තථාගත බුදුරජාණන් වහන්සේ හමුවෙහි දමනය වී තෙරුවන් සරණ ගොස් මේ ගෞතම බුදු සසුනෙහි උතුම් පැවිදි බව ලැබුහ.

 නවම්පුර  පසළොස්වක පොහොය දිනය

සම්බුද්ධ ශාසනයේත් සම්බුද්ධ චරිතාපදානයේත් උදාර සිද්ධීන් රැසක් සිදුවුණු ඓතිහාසික පුජණිය දිනයක් වශයෙන් නවම් පුන් පොහෝ දිනය සැළකිය හැකිය. සම්බුද්ධ ශාසනය නැමැති රත්නාකරයෙහි පහළ වූ මහාර්ඝරත්නයක් බදු වු සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සම්බුදු සසුනෙහි අගසව් තනතුරු ලබන ලද්දේත්, සම්බුද්ධ ශාසනවංශ කතාවේහි සදහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් පින්බර නවම් පුන් පොහෝ දිනකදීය. එපමණක් නොව මෙම උතුම් පුන් පොහෝ දිනයේදී තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඔවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමත්, විශාලාවේ චාපාල චෛත්‍යස්ථනයේ දී ආයුසංස්කාරය අත්හැරීමත් සිදු විය.

 මැදින්පුර පසළොස්වක පොහොය දිනය 

මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් හා අවස්ථා වෙන් වෙන් වශයෙන් සලකා බැලුවිට පැහැදිලිව පෙනීයන්නේ අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් තම නෑදෑ හිතමිතුරන්ට හා තම ජන්ම භූමියට කෘතගුණ දැක්වීම සඳහා යොදාගත් ෛඑතිහාසික උතුම් මංගල පොහොය දිනයක් ලෙසටය. කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීමත්, යශෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය ඇසුරින් ධර්මය දේශනා කිරීමත්, රහල් කුමරුගේ සහ නන්ද කුමරුගේ පැවිද්දත් මෙම උතුම් පොහෝ දින සිදු කරනා ලදි.

බක්පුර පසළොස්වක පොහොය දිනය

සම්බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ විසු බුදුරජාණන්වහන්සේ චුලෝදර මහෝදර යන නාගරජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටන දිවැසින් දැක නාගයන් කෙරහි උපන් කරුණාවෙන් ඔවුනට සුවසෙතසදාදෙනු පිණිස බක් මස අව පසළොස්වක පොහෝදා අළුයම ඍද්ධියෙන් නාගදීපයට(දෙවන ලංකාගමන) වැඩමකොට එම අර්බුධය සංසිඳවූ සේක.

 වෙසක්පුර පසළොස්වක පොහොය දිනය

සියළු ලොවට ශාන්තිය උදා කළ අප මුනි රජාණන් වහන්සේ මනු ලොව උපත ලැබීම, ලොව්තුරා සම්බුදු බවට‍ පත්වීම සහ පිරිනිවන් පෑම යන අසිරිමත් සම්බුදු තෙමගුලත්, බුද්ධත්වයෙන් පසු අට වන වසරේ දි තථාගත බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනය සිදු කරමින් කැලණියට වැඩම කිරීමත් පින්බර වෙසක් පුන් පොහෝ දා සිදු විය. එපමණක් නොව විජය කුමරු ලක්දිවට පැමිණීම තුළින් සිංහල ජාතියේ ආරම්භය ඇතිවීමත්, ධර්මාශෝක රජු විසින් දෙවන පෑ තිස් රජ දෙවන වරට අභිෂේක ලැබීමත්, දුටුගැමුණු රජු විසින් මහරහතන් වහන්සේලා පිරිවරා ගෙන රුවන්වැලි මහා සෑරදුන්ගේ වැඩ අරඹිමත් මෙම අසිරිමත් දිනයේ දී සිදු විය.

පොසොන්පුර පසළොස්වක පොහොය දිනය

මිහිඳු මහ රහතන්වහන්සේ ලක්දිවට වැඩමවා ලක්දිව බුදු සසුන පිහිටුවීමත් දෙවන පෑතිස්‌ රජු ඇතුළු 40,000 පිරිස මිහිදු මා හිමියන්ගේ අසහාය ධර්ම ප්‍රචාරයෙන් ලක් දිව බිහි වු ප්‍රථම උපාසක පිරිස ලෙස චුල්ල හත්ථි පදෝපම සුත්‍රය අසා තෙරුවන් සරණ යෑමත් මෙම අසිරිමත් පොසොන් පුන් පොහෝ දා සිදු වු අසිරිමත් සිදුවීම් ලෙස ඉතිහාසයට එක් වී තිබේ. මිස්සක පව්ව පාමුල වැඩහිදිමින් සුමන සාමණේරයන් වහන්සේ විසින් කළ ආරාධනයෙන් රැස් වු දෙවියන්ට සමචිත්තපාරියාය සුත්‍රය දේශනා කිරීමත් මිස්සක පව්වේ දී භණ්ඩුක කුමාරයාගේ මහණ උපසම්පදාව සිදුවීමත් මෙම උතුම් පෝදින සිදු වු අනෙකුත් අසිරිමත් සිදුවීම්ය.

ඇසළපුර පසළොස්වක පොහොය දිනය

ධර්මරාජ වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දස දහසක් ලෝක ධාතුවම කම්පාවට පත් කරවමින් බරණැස ඉසිපතන මිගදායේ දී උතුම් දහම් සක ප්‍රවර්තනය කරමින් මංගල ධර්ම දේශනය ලෙස දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කොට වදාළේ පින්බර ඇසළ පුන් පොහෝ දින දීය. සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම, කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වීම, භික්ෂුන්වහන්සේලා පෙරවස් එලඹීම, රාහුල කුමාරයාගේ උපත, ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රධාන සිංහල තරුණයන් 56 දෙනෙකු මහණ උපසම්පදාව ලැබීම, පාත්‍රධාතුව ලංකාවට වැඩමවීම, කීර්ති ශ්‍රී රාජසිංහ රජු සියම් රටින් උපාලි තෙරුන් ප්‍රධාන සංඝයා ගෙන්වා බු. ව. 2260 දී නැවත උපසම්පදාව ඇති කිරීම මෙම උතුම් ඇසළ පුන් පෝ දින සිදුවු අනෙකුත් අසිරිමත් සිදුවීම්ය.

නිකිණිපුර පසළොස්වක පොහොය දිනය

නිකිණි පුන් පොහෝ දිනය භික්ෂුන්වහන්සේ හා ගිහියන් අතර අන්නෝන්‍ය සම්බන්ධතාවක් ඇතිව ගිහි පැවදි දෙපක්ෂය තුළින් යුතුකම් ඉටුවෙන දිනයක් වශයෙන් සදහන් කළ හැකිය. ශාසන ප්‍රතිපත්ති වලට අනුව භික්ෂුන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියමව ඇත. පෙරවස පසුවස වශයෙන් ඒ දින දෙක හදුන්වනු ලැබේ.  ඇසළ පුන් පොහෝ දිනයෙහි පෝය කොට, ඇසළ අවපෑලවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතුය. නිකිණි පොහෝ දා පෝය කොට නිකිණි අවපෑලවිය දා පසු වස් එළඹිය යුතුය. මේ අයුරින් භික්ෂුන් වහන්සේලා පසු වස් එළබෙන්නෙත් ප්‍රථම ධර්ම සංගායනාව අරම්භ වුයේත් අසිරිමත් දළදා පෙරහැර පැවැත්වෙන්නේත් මෙම පින්බර නිකිණි පුන් පොහෝ දින දීය.

බිනරපුර පසළොස්වක පොහොය දිනය

භික්ෂුන්වහන්සේලා බුද්ධ නියමය අනුව විහාරාරාමයන්හි නිබදව වැඩ වෙසෙමින් බණ භාවනා කර්මයන් හි යෙදෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් ඉටුකර ගන්නා කාල පරිච්ඡේදයක් ලෙස මෙම කාලය හැදින්විය හැකිය. මෙහණ සස්නේ ආරම්භය බිනරපුන් පොහෝදා සිදු විය.

වප්පුර පසළොස්වක පොහොය දිනය

බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට ධර්මය දේශනා කොට තව්තිසා දෙව් ලොවින් දඹදිව සංකස්සපුරයට වැඩීම, පෙරවස් පවාරණය, මෙන්ම ලංකා ශාසන ඉතිහාසයෙහි අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංගායනා කිරීම මහාරිට්ඨ මහරහතන්වහන්සේ විසින් සිදු කරන ලද්දේත් පින්බර වප්පුනු පොහෝදි දිනකය.

 ඉල්පුර පසළොස්වක පොහොය දිනය

ප්‍රථම ධර්ම දුත පිරිස ධර්ම ප්‍රචාරය ඇරඹීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩීම, අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේදී පිරිනිවන් පෑම, මෙතේ බෝසතුන් වීවරණය ලැබීම ඉල්පුර පසළොස්වක පොහෝ දින සිදුවිය.

 උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය

සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධි දක්ෂිණශාඛාව ශ්‍රී ලංකාවට වැඩමවීමත් සිරිලක භික්ෂුණි පැවිද්ද ඇරඹීමත් මෙම උතුම් උදුවප් පුන් පෝදා සිදු විය. එමෙන්ම අසිරිමත් සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේ ද උඳුවප් පුන් පොහෝ දිනයේ උදාවත් සමඟය.

 

(ඇසුර :- බොදු දින පොත (2012) බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය)

Add a comment

*


Contact

  • Nobadi Sadaham Yathrawa
  • No. 1/2, Suriya mal Pura. Prince Gate
  • Sri Lanka
  • E-mail: contact@nobadiyathrawa.org
  • Tel:+94779814786
Copyright © 2011 Nobadi Yathrawa All rights reserved.